ඖෂධ මිල අඩු කරන්න පුළුවන් - ඒත් බාධාවක් තියෙනවා


(යොහාන් භාසුර)

ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව තිබුණ ද ඖෂධ ගෙන්වන ආයතනයක් පවරා ඇති නඩුවක් හේතුවෙන් එය වැළකී ඇති බවත් අධිකරණය පනවා ඇති තහනම් නියෝගය ඉවත් කළ පසු ඖධ්‍ය මිල අඩු කිරීම නිසිපරිදි නියාමනය කර ජනතාවට දරාගත හැකි මිලට ඖෂධ සැපයීමට කටයුතු කරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එසේ සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරී මුහුණදී සිටි අර්බුදකාරී තත්වයෙන් මිදී මේ වන විට යම්කිසි ස්ථාවර තත්වයකට පැමිණ ඇති බවත් එම අධිකාරිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ආයතනයක් බවට හැකි ඉක්මණින් පත්වීමට හැකියාව ඇති බවත් ඒ මහතා කීය.  

ඖෂධ ලියාපදිංචිය, තත්ව පරීක්‍ෂණය සහ ලිපි ගණදෙනු සඳහා ඊ සිස්ටම් එකක් හදුන්වාදීම වැනි ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් පසුගිය වර්ෂය තුළ මෙවැනි ව්‍යාපෘති ඇතු`ඵ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මූලික වගකීම සහ පරමාර්තය ජනතාවට සුරක්‍ෂිත, ප්‍රමිතියෙන් යුත් සාධාරණ මිලට ඖෂධ සැපයීම බවත් පසුගිය කාලයේ ජනතාව ඖෂධ පිළිබද්‍ව විශ්වාසය නැති වූ බවත් ඒ මහතා කීය.
ඖධෂ සම්බන්ධ ලියාපදිංචි සහතික සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවලට ආරක්‍ෂිත ක්‍රමයක් මේ වන විට ක්‍රියාත්මක බවත් වර්ණ හයකින් යුත් නව සුරක්‍ෂිත ලියාපදිංචි සහතික හදුන්වාදී ඇති බවත් ඒ මහතා පැවසීය.