ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් විම ගැන සී.අයි.ඩි යට පැමිණිල්ලක්


(නිමල කොඩිතුවක්කු)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් විම පිළිබදව සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (30) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුව වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම දත්ත අතුරුදන්වීම රටේ ජාතික ආරක්ෂාවටත්, සෞඛ්‍ය පද්ධතියටත් බරපතළ තර්ජනයක් බැවින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.

මේ සඳහා සමගි ජන බලවේගයට අනුබද්ධ නීතිඥවරුන් පිරිසක් ද එක්ව සිටියහ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා.

"ඖෂධ නියාමන අධිකාරියේ ගබඩා තුළ දත්ත පද්ධතිය අතුරුදන්වී තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක් සකස් කිරීම 2018 වසරේ සිට ආරම්භ කළා. ඖෂධ ඇනවුම් කිරීම, ඖෂධ ගබඩා කිරීම ඇතුලු සියලු තොරතුරු එයට ඇතුළත් වුණා. ඖෂධ මාෆියාව පාලනය කිරීමටත් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් එය ඉවහල් වුණා.

ඖෂධ මාෆියාව නැවත හිස ඔසවමින් තිබෙනවා. ආණ්ඩුව විශාල ලෙස ඖෂධ මිල ඉහළ දමමින් ජනතාව අපහසුවට පත් කර තිබෙනවා. ඒ වගේම අද හැමතැනින්ම ඖෂධ හිගයන් පිළිබඳ වාර්තා වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ තමයි ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩා විනාශ වෙලා තියෙන්නේ.

එය රටේ ජාතික ආරක්ෂාවටත් විශාල තර්ජනයක්. ඒ වගේම සෞඛ්‍ය පද්ධතියක් පවත්වා ගැනීමටත් ගැටලු මතුවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය හමුවට ඉදිරිපත් කරන්න කියලා අපි මේ පැමිණිල්ලෙන් ඉල්ලීමක් කළා" යැයිද ඔහු සඳහන් කළේය.