ඕස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාර සමන්තා ලංකාවට


(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී කපිල)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා අද (06) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියාය. 

සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුළු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහිදී පිළිගනු ලැබිණි.

මෙම නිල සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරය මහත්මිය හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එහිදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇත.

එසේම, සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය, දිවයිනේ රැඳී සිටින කාලයේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක නිරීක්ෂණය කිරීමටත් නියමිතය.