ඕස්ට්‍රේලියන් කතගේ මොලේ පණුවෙක්


(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුල සිට පණ ඇති පරපෝෂිත පණුවෙක් ලොව ප්‍රථම වතාවට සොයා ගැනීමට සමත් වූ බව විද්‍යාඥයන් පවසා ඇත. මෙම පණුවා දිගින් සෙන්ටිමීටර 8 ක් පමණ වන බවත් පණුවා කාන්තාවගේ මොළය තුළ මාස දෙකක් පමණ ඉන්නට ඇතැයි විශ්වාස කරන බවත් කැන්බරා රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

මෙම 64 හැවිරිදි කාන්තාවට අසාමාන්‍ය රෝග ලක්ෂණ ඇති වූ බවත් ඒ හේතුවෙන් පසුගිය වසරේදී මොළයේ සිදුකළ එම්.ආර්.අයි පරීක්ෂණයකින් පසු ඇයට ශල්‍යකර්මයක් කළ යුතු බව කැන්බරා රෝහල තීරණය කළ බවත් කැන්බරා රෝහලේ බෝවන රෝග වෛද්‍ය සංජය සේනානායක මහතා පවසා ඇත. ශල්‍ය කර්මයේදී සෙන්ටිමීටර 8 ක පණ ඇති පණුවකු රෝගියාගේ මොළයෙන් ශල්‍ය වෛද්‍ය හරි ප්‍රියා මහත්මිය එළියට ගෙන ඇති බවත් එම අවස්ථාවේදී ඊළඟට සිදුකළ යුත්තේ කුමක්දැයි තීරණය කිරීම සඳහා තමාට සහ අනිකුත් වෛද්‍යවරුන්ට හරි ප්‍රියා මහත්මිය කතා කළ බවත් වෛද්‍ය සංජය සේනානායක මහතා ප්‍රකාශ කර තිබේ.

ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් නිරන්තරයෙන් මොළයේ ආසාදන සමඟ කටයුතු කළත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු මෙවැනි දෙයක් කිසිම විටකත් බලාපොරොත්තු නොවන බවත් වෛද්‍ය සංජය සේනානායක මහතා පවසා ඇත.