(නිමන්ති රණසිංහ)
රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 01 වැනිදා තෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්‍ද්‍රා ජයසූරිය මහත්මිය අද (25) නියෝග කළාය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ට සැඟවී සිටීමට ආධාර අනුබල දීම මත මෙම සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨාශය කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ, 6 වන පටුමග, කුබුක්ගහපොකුන පාර, උසුනමුල්ල, නුගේගොඩ පදිංචි විජයකෝන් දිසානායක මාබරන ප්‍රදීප් සංජය කුලතුංග යන අයවලුන්ය.
මෙම සිද්ධියට අදාළව අධිකරණයට බාර වූ ප්‍රධාන සැකකරු වන තලංගම පදිංචි නාහේන්පිටගේ විපුල පෙරේරා නමැත්තා ලබන 28 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේ ඊයේ (24) ය .

