ඔක්කොම එක් වුනොත් ආර්ථික අමාරුව ටික කාලයයි


(අංජුල මහික වීරරත්න)

වර්තමාන අභියෝගයන්ට සියලු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුන්නොත්  ඉදිරි වසර කිහිපය ඇතුලත මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමිනි. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  කලමණාකාරිත්වයෙන් 82% ක් මෙම සංගමයේ සාමාජිකත්වය උසුලන අතර  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය සමඟ සෘජුවම කටයුතු කරන අංශ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණක් මෙම සංගමය සමන්විත වේ .