එළඹෙන අයවැයෙනුත් ගුරු වැටුප් විෂමතා ඉවත් නොකළොත් වෘත්තීය අරගලයකට යනවා


(තිලක් ජයවර්ධන)

ගුරු වැටුප් විෂමතා ප්‍රථම අයවැයෙන් ඉවත් කරන බව වත්මන් ආණ්ඩුව අපට පොරොන්දු වූවත් එය එසේ සිදුනොවුන බවත්, එළඹෙන අයවැයෙන්ද එ‍ය එසේ සිදු නොවුනහොත් දැඩි වෘත්තීය අරගලයකට අනුගතවන බවත් ශ්‍රී ලංකා ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ශෙහාන් දිසානායක මහතා පල්ලේපොලදී පැවසීය.

මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එසේ පැවසූ දිසානායක මහතා එහිදී මෙසේද පැවසීය.

"ලබන වසර වන විට පාසල්වල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කරන්න යනවා, නමුත් ගුරුභවතුන් අද වන විට රාජකාරි සඳහා නිසි වෙලාවට වාර්තා කරනවා. යම් සුළු පිරිසක් ප්‍රමාද වී වාර්තා කරන්නේ දුෂ්කර පාසල් කරා යාමට තිබෙන ගම් ගමනාගමන බාධාවන් නිසායි."

"ඇගිලි සලකුණු යන්ත්‍රය සවි කිරීමෙන් පසු සවස 1.30 ට ඇඟිලි සළකුණු තබා ගුරු පිරිස් පාසලින් පිටව යා යුතුයි. නමුත් එම කටයුතු නිසා දරුවන්ගේ අධ්‍යාපනයට එය සෘජුවම බලපෑම්ක් ඇතිවෙනවා." යැයි දිසානායක මහතා කියා සිටියේය.

"මොකද දැන් තිබෙන තත්වය අනුව බොහෝ ගුරුවරුන් පාසල් වේලාවෙන් පසු සිසු දරුවන්ට පන්ති නොමිලේ කරනවා. ඒ නිසා අපි හිතනවා ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීම් සංශෝධන කළ යුතුයි කියා. එසේ සංශෝධන නොවුනොත් ළමුන්ගේ අධ්‍යාපන ප්‍රතිඵලයට බලපෑමක් වෙනවා." යැයිද දිසානායක මහතා පැවසීය.