එල්.එන්.ජී. ගිවිසුම අස්සන් කළ අය බකමූණන්ද?


(යොහාන් භාසුර)

ආන්දෝලනාත්මක තත්වයකට පත්ව තිබෙන කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරය සම්බන්ධ ගිවිසුම පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රීයේ අස්සන් කර ඇති බවත් එම ගිවිසුම අස්සන් කළ අය බකමූණන් දැයි ජනාතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි.

එම ගිවිසුම සම්බන්ධයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය.

‘කෙරවලපිටිය බලාගාරය 2025 වන විට අපේ ලංකාවේ ගොඩනැගෙන විශාලතම බලශක්ති බලාගාරයයි. මේ බලාගාරය දැනට ඩීසල්වලින් විදුලිය උත්පාදනය කළත් ගෑස් බලාගාරයක් බවට පරිවර්ථනය කරන්න පු`ඵවන්. අපිට ගෑස් ගෙනඒම සඳහා නළ පද්ධතියක් එළාගෙන නෑ. ගෑස් ගබඩා කිරීම සඳහා ගබඩා පද්ධතියක් අපි ඉදිරිකරලා නෑ.

ඒ සඳහා ලංසු කැඳවීමේ යෝජනාවට පසුගිය පෙබරවාරි මස 18 වැනිදා ඛනිජ තෙල් අමාත්‍යංශය පුවත්පත් දැක්වීම් ප්‍රකාශකළා. නමුත් මේ ඉදිකිරීම් ටෙන්ඩරයට කිසිසේත්ම සම්බන්ධ නොවූ ඇමරිකානු ‘නිව් ෆෝට්රෙස් එනර්ජි’ කියන සමාගමට පවරනවා, මෙය පිරිසිඳු ගණුදෙනුවක් නොවෙයි.

ඒ විතරක් නොවෙයි. මේක ගෑස් බවට පරිවර්ථනය කරන්න අපිට ගෑස් ඕනේ. අවුරුදු පහක් යනකන් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුවත් එම සමාගමටම දීලා. ටෙන්ඩරයකින් තොරව මෙම බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු ‘නිව් ෆෝට්රෙස් එනර්ජි’ කියන සමාගමට පවරලා තියෙනවා.

මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරන කොට කිසි ඇමතිවරයෙක් ගාව මේ කැබිනට් පත්‍රිකාව නෑ. දැකලා නෑ. මෙය අනුමත කිරීමට අමාත්‍යවරුන් කීපදෙනෙක් විරුද්ධ වූ බවත් මා දන්නවා. දැන් මොකක්ද වුණේ. මේ රටේ ඓතිහාසික ගිවිසුමක් කියටද අස්සන් කළේ. 17 වැනිදා රෑ 12 පසුවී විනාඩි 6 ට. රෑ 12 ට ගිවිසුම් අස්සන් කරනවා රට ගැන. අස්සන් කරන්න ආපු සුද්දා පාන්දර 2 ට තියෙන ෆ්ලයිට් එකේ ඇමරිකාවට යනවා. මේ රටේ රෑ 12.06 ට ගිවිසුම් අස්සන් කරනවාද? බකමූණොද මේගොල්ලෝ”