(ඩයනා උදයංගනී)
එන්නත්කරණයට ප්‍රවාහන පහසුකම් නැති ජනතාව වෙනුවෙන් නොමිලයේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් වෙත නොමිලයේ ගමන් වාර 50,000ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ ඌබර් ශ්‍රී ලංකා ප්‍රවාහන සමාගම එකඟ වී ඇත.
කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි කොවිඩ් ප්‍රතිකාර රාජකාරීවල නිරත වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ක්‍රියාත්මක නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්‍රගතිය දැනුම්දීමේ හමුවක් අරලියගහ මන්දිරයේ දී ඊයේ (5) පැවති අතර එහිදී මෙම එකඟතාව පළවිය.
කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා දිවා රෑ නොබලා සේවා සපයන වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කාර්ය භාරය අගය කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ ඌබර් ශ්‍රී ලංකා සමාගම ඔවුන් වෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීම ද අගය කළේය.
ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා එන්නත්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එන්නත් ලබා ගැනීමේ මධ්‍යස්ථාන වෙත පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් නොමැතිව අපහසුතාවයට පත්වන ජනතාව වෙනුවෙන් නොමිලේ ප්‍රවාහන සේවා සැපයීමේ වැදගත් බව ද පැවසීය. ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ, ඌබර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් කළමනාකරු එස්. ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

