එතෙරින් ගෙනා භාණ්ඩ සොරා ගත් තුනක් මාට්ටු


(ටී.කේ.ජී.කපිල)

විදේශීය රටකින් මෙරටට ගෙන්වන ලද රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු  භාණ්ඩ තොගයක් , කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී  ගිනි අවි පෙන්වා එම ව්‍යාපාරිකයා සමග පැහැර ගෙන ගිය තිදෙනකු සමග එම භාණ්ඩ  අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය කියයි.

අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු ගෙන් වූ මෙම භාණ්ඩ තොගයක ඉකුත් 2022 වසරේ දෙසැම්බර් 21 දින රාත්‍රී 07.30 ට පමණ කටුනායකින් මුදාගෙන වෑන් රථයකින් රැගෙන යද්දී කටුනායක 18 කණුව ප්‍රදේශයේ දී ,  වෑන් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක්  ගිනි අවි පෙන්වා බිය කර පැහැර ගෙන ගොස් තිබුණි .

මෙහිදී මෙම ව්‍යාපාරිකයාගේ සහායිකාවක ලෙස කටයුතු කළ ව්‍යාපාරික කාන්තාව මෙම මංකොල්ලකෑම සැළසුම් කර මෙහෙයවා ඇති බව කටුනායක පොලීසිය පසුව අනාවරණය කර ගෙන තිබේ .

ඒ අනුව මංකොල්ලකෑම සැළසුම් කළ කාන්තාව ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකු ද කටුනායක පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ .