එජාපයේ මැයි දින සැමරුම කොළඹ නගර ශාලාව අභියස


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින උත්සවය කොළඹ නගර ශාලාව පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලු පක්ෂවල එකමුතුවෙන් පුළුල් පෙරමුණක් ලෙස මෙවර මැයි දින සැමරුම අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට තීරණය කළ බවද මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා  සඳහන් කළේය.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් කොළඹට එන ජනතාව මාර්ග හතරක් ඔස්සේ කොළඹ නගර ශාලාව පරිශ්‍රයට රැස්වීමෙන් අනතුරුව ජනහමුවක් පැවැත්වීමට නියමිත ඇතැයිද මහ ලේකම්වරයා කීය.