
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඉකුත් ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 38 දෙනෙකු සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන , පවතින තත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන්ට කළ නියෝගය ලබන අප්‍රේල් 28 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද ( 09) තීන්දු කළේය.
තම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගම්පොළ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී අනුර ශාන්ත කුමාර මහතා, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති රිට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය ඊයේ මේ බව දැනුම් දෙන ලදී.
අභියාචනාධිකරණ සභාපති අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.
එසේම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන අප්‍රේල් 28 වැනිදා සිදු කිරීමට ද අභියාචනාධිකරණය තීන්දු කළේය.
මෙම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහාය පළකළේ යැයි චෝදනා කරමින් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් පවත්වා තම සේවා දායකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවයි.
ඒ අනුව අදාළ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාව නිකුත් කරන ලෙසද පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා ඉල්ලා තිබිණි.
ගම්පොළ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී අනුර ශාන්ත කුමාර මහතා ,කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් , එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

