එජාප ප්‍රමුඛ සන්ධානය ඡන්දෙට එන්නේ අලියා ලකුණින්


( +++ අංජුල මහික වීරරත්න)

ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයෙන් ඉදිරිපත් වන්නේ අලියා ලකුණින් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (3) පැවැසීය.

පොදු සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනකු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී බහුතරයේ තීරණය දැනුම් දුන් බව කී රංගෙ බණ්ඩාර මහතා ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩලයට බහුතර තීරණය දැනුම්දී තීන්දුවක් ගන්නා බවද සඳහන් කළේය.

ඉදිරි මැතිවරණයට අලියා ලකුණින් ඉදිරිපත් විය යුතුය යන එජාප බහුතර මන්ත්‍රීන්ගේ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි මන්ත්‍රීවරුන් 19 දෙනා සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද ඔහු කීය.

ලකුණු මාරු කරන්නට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වූ ඉරණම එක්සත් ජාතික පක්ෂයට අත්වීමට ඉඩ දිය නොහැකි බවද පාලිත රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මෙසේ පැවැසුවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුව අමතමිනි.