එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ


(නිමල කොඩිතුවක්කු)

කොළඹ වරායට නුදුරින් පසුගිය දා ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් තල්මසුන් 07ක්, ඩොල්ෆින් 36ක් සහ කැස්බෑවන් 369ක් මියගොස් ඇති බව ඒ පිළිබඳ  සිදුකළ නවතම  වාර්තාවකින්  තහවුරු වූ  බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

නෞකාව විනාශවීම හේතුවෙන් එහි සුන්බුන් සහ ප්ලාස්ටික් කැබලි තවදුරටත් වෙරල තීරයට ගසාගෙන එන බවත් ඒවා ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත් ඇය ස`දහන් කළාය.

මේ හේතුවෙන් ඉන් සිදුවන හානිය තවදුරටත් වැඩිවිය හැකි බවත් කෙළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය පැවසුවාය.

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සාගර පතුලේ විසිර තිඛෙන කන්ටේනර් පිළිබඳ තොරතුරු සහ විශාල ප්‍රමාණයේ අපද්‍රව්‍ය පිළිබඳ  නැවේ භාරකාර සමාගම දුරස්ථ පාලක යොදාගනිමින් මේ දිනවල සමීක්ෂණය කරමින් තිඛෙන බවත් ඇය සදහන් කළාය.

නැවේ විසිරී ගිය කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා දේශීය සහ විදේශීය ආයතනවලට යොමුකර ඇති බවත් සභාපතිනිය පැවසුවාය.

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු මෙම මස අවසානයේදී හෝ ලබන මස මුලදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

කොළඹ වරාය ආසන්නයේදී ඉකුත් මැයි 21 වනදා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමට ලක්වූ අතර ජූනි 02 වනදා නෞකාව මුහුදුබත්වීම ආරම්භවී තිබුණි.