එ.ජා.මානව හිමිකම් කාර්යාලයෙන් නිවේදනයක්


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය (08) ශ්‍රී ලංකාව පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් එම මාධ්‍ය නිවේදනය මගින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වන   සාමකාමීව රැස්වීම් සහ සාමකාමී විරෝධතා අතරතුර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහතික කරන ලෙසයි.

මෑතකදී ශ්‍රී ලංකාව විසින් හදිසි නීතිය ප්‍රකාශ කිරීම සහ සමාජ මාධ්‍ය භාවිතා කිරීම  අවහිර කිරීමට ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් කණස්සල්ලෙන් පසුවන බව එම නිවේදනයේ සටහන් වේ.

මෙවැනි ක්‍රියාමාර්ග ඉන්ධන,අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ හිගවීම හේතුවෙන් සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු  ආර්ථික අර්බුදය හමුවේ  සාමකාමී  විරෝධතා වල නියැලෙන ජනතාව අධෛර්යමත් කිරීමට සහ විරෝධතා වල නියැලීමෙන් වැළැක්වීමට ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ පවසති.

විරෝධතා විසුරුවා හැරීමට කඳුළු ගෑස්  සහ ජල විදිනයන් යොදා ගැනීම හෙළා දකින බවත් මෑතකදී සිදු කරන ලද සමාජ මාධ්‍ය භාවිතා කිරීම අවහිර කිරීම අනුමත නොකරන බවත් ශිෂ්‍යයින්ට සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සාමකාමී විරෝධතා වල නියැලෙමින් ඔවුන්ගේ දේශපාලන අදහස් සහ ඔවුන්ට ඇති කලකිරීම සාමකාමීව ප්‍රකාශ කිරීමට රජය ඉඩ ලබාදිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

(විමුක්ති එස් රුද්‍රිගු )