ඌව වෙල්ලස්ස සරසවියට වෛද්‍ය පීඨයක් ගන්න වැඩපිළිවෙළක්


(එෆ්.අස්ලම්)

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ගෙන ඒමේ වගකීම බාර ගන්නා බවත් ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව ශාඛාවේ වෛද්‍යවරුන් එම සරසවියේ ශිෂ්‍ය සංගම් නායකයින්ට අද (19) සහතිකයක් ලබාදුන්හ.

දිවයිනේ සියළුම පළාත්වලට දී ඇති ඌව පළාතට පමණක් දී නැති වෛද්‍ය පීඨය කඩින්මින් ගෙන ඒම වෙනුවෙන් මූලිකත්වය ගනිමින් කටයුතු කරන බව එහිදී වෛද්‍යවරුන් සඳහන් කළහ.

වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට නව වෛද්‍ය පීඨයක් ගෙන ඒම ඇතුළු සරසවියේ පවතින අඩුපාඩුකම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රමුඛ  වෛද්‍යවරුන්  විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රමුඛ ක්‍රියාකාරීන් අද (19) හමුවූහ.

මෙම සාකච්ඡාව සරසවියේ ශිෂ්‍ය සංගම් ශාලාවේ දී පැවැත්විණි.

මෙහිදී ශිෂ්‍ය සංගමේ සභාපති ප්‍රමෝද් ෆොන්සේකා සරසවියට වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ නොමැති අඩුපාඩුව ගැනත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එම අඩුපාඩු සපුරාලීම වෙනුවෙන් සියළු පාර්ශ්ව සහාය විය යුතු යැයි සඳහන් කළේය.

මෙම විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ගෙන ඒමේ උත්සහායන් කිහිපයක්ම අසාර්ථක වූ බවත් නව දේශපාලන පරිවර්තනයේ සහයෙන් එම උත්සහාය සාර්ථක කර ගැනීමට හැකිවනු ඇති බවත් ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැකි උපරිමයෙන්ම මූලිකත්වය දෙමින් කටයුතු කරන බවත් එම සංගමයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම කරුණ යොමුකරන බවත් ඊට පළමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සමඟින් සාකච්ඡා කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.