උඩවලවේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ පහළොවක්


(අංජුල මහික වීරරත්න)

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක් ( මිලියන 1.5ක්) පිරී ඇතැයි උඩවලවේ ඉංජිනේරු කාර්යාලය කළ  ගණිතමය අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.

මෙලෙස එකතු වී ඇති රොන් මඩ වල ට්‍රැක්ටර් කියුබ් ප්‍රමාණය පන්ලක්ෂ පන්දහස් නවසියයක් බවද  එම මඩ ඉවත් කිරීම මගින් වැඩිවන ජල ධාරිතාවය අක්කර අඩි 1273ක් හෙවත් කියුබික් මීටර් මිලියන දශම 05ක් බව ගණන් බලා ඇත. ඉන් වැඩිපුර වැපිරිය හැකි කුඹුරු ප්‍රමාණය අක්කර 300කි.

උඩවලවේ ජලාශයේ ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 265කි. 

නියඟයෙන් සිදී  ගොස් ඇති උඩවලව ජලාශයේ රොන්මඩ ඉවත් කරන්නැයි  ගොවීන් කර ඇති ඉල්ලීම පරිදි ක්ෂේත්‍ර අධ්‍යයනයක් සඳහා නිලධාරීන් පිරිසක් උඩවලව ජලාශය  වෙත යැවීමට තීරණය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය රොෂාන් රණසිංහ, වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්ම මහත්මීන් සහ කෘෂිකර්ම, වනජීවී, මහවැලි හා වාරිමාර්ග අමාත්‍යාංශ නියෝජනය කරමින් නිලධාරීන් සහ ගොවි නියෝජිත පිරිසකගේ  සහභාගීත්වයෙන් මහවැලි අමාත්‍යාංශයේ දී සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.