ඊච්චලම්පත්තු රෝහල විවෘත කරයි


(අමදෝරැ අමරජීව)

ජල ගැලීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ  නැගෙනහිර පළාතේ එකම ප්‍රාදේශීය රෝහල වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ඊච්චලම්පත්තු ප්‍රාදේශීය රෝහලේ රෝගී සත්කාරක සේවා හා බාහිර රෝගී අංශ ප්‍රතිකාර අද (9) සිට යළි ආරම්භ කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

ජලය බැස ගිය පසු යුද හමුදාව සමග එක්ව රෝහල් කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම රෝහල පිරිසිදු කර විෂබීජ හරණය කරනු ලැබූ අතර රෝහල් භූමියේ ඛාදනය වූ තැන් පස් පුරවා සකස් කිරීමද සිදුකරනු ලැබ තිබුණි.

සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූමෙම රෝහලේ තත්ත්වය සොයා බැලීම සඳහා එහි ගිය පළාත් සෞඛ්‍ය ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ගිතාංජන දිසානායක මහතා රෝහල යළි කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් මෙහිදී ලබාදී තිබුණි. ඒ අනුව යළි රෝගී සත්කාරක සේවා හා බාහිර රෝගීන් කටයුතු යළි මෙලෙස ආරම්භ කරනු ලැබ තිබේ.                  

රෝහල ජලයෙන් යටවීමට පෙර එහි තිබූ වෛද්‍ය උපකරණ ඖෂධ වර්ග හා නේවාසික රෝගීන් ඉවත් කරගෙන රෝගී සත්කාරක සේවා සඳහා තාවකාලික රෝහලක්  වෙරුගල්හි පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ස්ථාපිත කර පවත්වාගෙන යෑමට රෝහල් බාලධාරීන් කටයුතු කර තිබේ.