(නිමල් ජයරත්න)
පොළොන්නරුව මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට අද( 20) අලුයම වැටී සිටි වන අලියෙකු ගොඩ ගැනීමෙන් අනතුරුව එම අලියා දිඹුලාගල වෙහෙරගම ගම්මානයට කඩා වැදී එකම පවුලේ දෙදෙනෙකුට පහරදීමෙන් ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ වෙහෙරගම දේවගල ලිපිනයේ අංක 223 ලිපිනයේ පදිංචිව සිටි 80 වියති ඩී.ආර්. ප්‍රේමාවතී මැණිකේ මහත්මිය සහ ඇයගේ සොහොයුරෙකු වන 74 වියති, ඩී.ආර්. පොඩි රාළහාමි යන අය බව පරීක්‍ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
වන අලියා පහරදීමෙන් ඩී.ආර්. ප්‍රේමාවතී මැණිකේ මහත්මිය මිදුලේම මියගොස් ඇති අතර ඇයගේ සොහොයුරා පොළොන්නරුව මහ රෝලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය පවසයි.
මාදුරුඔය ඉසඩ්.ඩී, ප්‍රධාන ඇළට වැටුණු වන අලියෙකු, වෙහෙරගල වනජීවි නිලධාරීන් පැමිණ, අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් ගොඩට ගැනීමෙන් අනතුරුව එම අලියා වෙහෙරගම ගම්මානයට කඩා විඳී ඇත.
එම ගම්මානයේ ඇල ඇසළ සිටි පිරිමි පුද්ගලයා සහ නිවස ඉදිරිපිට සිටි කාන්තාවට මෙම අලියා පහරදී ඇති අතර, පහරදීමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා මනම්පිටිය රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය පවසයි.
ඉසඩ් ඇලෙන් ගොඩගත් මෙම වන අලියා ගම්මානයට පලවා හැරීමට කටයුතු කිරීම පිළිබඳ වෙහෙරගල ගම්මානයේ ගම්වාසීන් වනජීවි නිලධාරීන්ට දැඩි විරෝධයක්ද මෙහිදී පලකර සිටියහ.