( +++ සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)
පක්‍ෂ සාමාජිකත්වය ඉවත් කිරීමත් සමග තමා ඉබ්බා දියේ දැම්මා වැනි තත්ත්වයට පත්වුණු බව ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය.
රාමනායක මහතා මෙසේ පැවැසුවේ ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව ඉවත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කළ විමසුමක දීය.
පක්‍ෂ සාමාජිකත්වය ඉවත් කිරීමත් සමගම තමා නිදහස් පුද්ගලයකු බවට පත්වූ බව පැවැසූ රාමනායක මහතා නිදහස් අදහස් පළ කිරීමට තිබූ යම් යම් බාධා ඉවත් වුණු බව ද ප්‍රකාශ කළේය.
ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට එක්සත් ජාතික පක්‍ෂයෙන් අවස්ථාව නොලැබුණහොත් ස්වාධීනව තරග වදින බවත් එහිදී ජනතාව තමා ප්‍රතික්ෂේප කළහොත් දේශපාලනයෙන් ඉවත් වී පූර්ණකාලීනව රංගන කටයුතුවල යෙදෙන බවත් ඔහු සඳහන් කළේය.
රංගන කටයුතුවලට බාධා ඇතිවුවහොත් ඒ කටයුතුවලින් ඉවත් වී විදේශගත වන බව ද රාමනායක මහතා කීය.
හඬපට සිද්ධියේ දී තමා වෙනුවෙන් පක්‍ෂය පෙනී සිටීවි යැයි බලාපොරොත්තු වුවත් එය එසේ සිදුනොවූ බව ද ඒ ගැන තමා කනගාටු වන බව ද රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.

