(ඉන්දිකා රාමනායක)
ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක ඉන්ධන හල් වලින් දෛනිකව අසාමාන්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මගින් හදුන්වා දී ඇති ස්මාට් ජංගම දුරකතන වලට භාවිතා කළ හැකි මෘදුකාංගයක් හරහා ඉන්ධන හල් වලින් දෛනික ව දෙවරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්ධන ලබා ගත් වාහන 52021 දෙනකු ට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම නව මෘදුකාංග දිවයින පුරා ඉන්ධන හල් 1420ක ප්‍රමාණයක් සම්බන්ධ වෙමින් මෙම කටයුතු සිදුකරන බව ද පොලිස් මාධ්ය ප්‍රකාශකවරයා කීය.
දැනට හඳුනාගෙන ඇති මෙම වාහන සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවත් , එම පුද්ගලයන් ඒ ආකාරයෙන් ඉන්ධන ලබා ගෙන ඇත්තේ නීති විරෝධී වැඩි මිළට ජාවාරම් කිරීම සදහා බවට අනාවරණය වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය.
ඇතැම් පුද්ගලයන් දෛනික මෙලෙස ඉන්ධන ලබාගෙන ඇත්තේ ඔවුන්ගේ එදිනෙදා කටයුතු සදහා නම් එවැනි කටයුතු වලට කිසිදු බාධාවක් නොවන බවත් , ඒ මුවාවෙන් ඉන්ධන ලබා ගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත පුද්ගලයන්ට අවසරය හිමි නොවන බවද බව ද පොලිස් මාධ්ය ප්‍රකාශකවරයා කීය
පොලිසිය සහ ඛණිජතෙල් නීතිගත සංස්ථා නිලධාරීන් සමග එක්ව මෙම වැටලීම් සිදුකරන බවද පොලිස් මාධ්ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ අතර මෘදුකාංගය හදුන්වා දීමෙන් පසුව දෛනිකව දෙවරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්ධන ලබා ගන්නා වහන වල අඩුවක් දක්නට ලැබෙන බවත්, ඉකුත් (28) දින ඒ ආකාරයෙන් ඉන්ධන ලබාගත් වාහන 1450 ක ප්‍රමාණයක් හදුනාගෙන ඇත.
ඉකුත් (1) වනවිට එය 360 දක්වා අඩු වී ඇති බවද පොලිස් මාධ්ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

