ඉන්ධන,ගෑස් හා ගොවි ගැටළුවලට සාගල මැදිහත් වෙයි


(අංජුල මහික වීරරත්න)

ඉන්ධන, ගෑස් හා වී වගා ක්ෂේත්‍රයන්හි ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉහත ක්ෂේත්‍රවලට අයත් නිලධාරීන් සමඟ අද (01) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දුන්නේය .

ඉන්ධන මිලදී ගැනීම, බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අතර ඉන්ධන අර්බුදයෙන් පිඩාවට පත් ජනතාවගේ ගැටලුවලට කඩිනමින් සහන සලසන ලෙස රත්නායක මහතා උපදෙස් දුන්නේය.

භූමිතෙල් මිල වැඩි වීම සම්බන්ධ ගැටලුව පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කළ අතර, එම ගැටලුව විසඳීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ද සාගල රත්නායක මහතා කීය.

වී මිලදී ගැනීමේ දී වී අලෙවි මණ්ඩලය මුහුණ දී සිටින ගැටලු පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානීන් හා රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කෙරිණි.

වී මිලදී ගැනීම කඩිනම් කරන ලෙසත් වී ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ වන විට පවතින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ගෑස් මිලදී ගැනීම, ගෙන්වීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින ගැටලු ද කඩිනමින් නිරාකරණයට අවශ්‍ය පියවර ගැනිණ.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර් එච් එස් සමරතුංග මහත්වරු ද සහභාගී වූහ.