ඉන්ධන - දැවිතෙල් අවසන්


(යොහාන් භාසුර)

තෙල් සංස්ථාව ලබාදුන් ඩීසල් සහ දැවිතෙල් තොගය අවසන් වී යෑම නිසා දැවිතෙල් ලබාගැනීමට සාකච්ඡා කරන බවත් ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කිරීමේ සම්පූර්ණ බලය ඇති තෙල් සංස්ථාව වාර්ෂික ආනයන සැළසුම් කරන විට විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය එයට ඇතුළත් කළ යුතු බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (24) පැවසීය.

විදුලිබල මණ්ඩලයට ඉන්ධන හිඟයක් ඇති වූ අවස්ථාවේදී තෙල් සංස්ථාවෙන් මෙටි්‍රක්ටොන් 10,000 ලබාදුන් බව කී අමාත්‍ය ලොකුගේ මහතා එම ඉන්ධන තොගය අවසන් වෙමින් තිබෙන නිසා දැවිතෙල් ලබාගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

විදුලිය විසන්ධි කරන්නේ යැයි ඇතැමුන් ප්‍රකාශ කළ ද රජයේ උත්සහය විදුලිය විසන්ධි කිරීමකින් තොරව පවත්වාගෙන යෑමට බවත් එයට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් සිටින බවත් අමාත්‍ය ලොකුගේ මහතා කීය.

හදිසි විදුලිය විසන්ධි කිරීමක් අවශ්‍ය වුවහොත් එම වේලාව දැනුවත් කර එය කරන බව කී අමාත්‍යවරයා සඳහන් කළේ ගල් අඟුරු බලාගාරයෙන් විදුලිය ලැබුණු පසු මේ මාසයේ විදුලි කැපීමකින් තොරව යා හැකි බවත්ය.

පුද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීම බොහෝ පිරිසකගේ උත්සාහය බවට පත්ව ඇති බවත් විදුලිබල මණ්ඩලයේ ‘මාෆියාක්’ පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද පසුගියදා ප්‍රකාශ කළ බවත් අමාත්‍ය ලොකුගේ මහතා කීය

පසුගිය දිනක සිදුවූ හදිසි විදුලිය විසන්ධිවීමේ සිද්ධිය කඩාකප්පල්කාරී වැඩක් ද යන්න පිළිබඳව සොයාබැලීමට පත්කළ විශේෂඥා දැනුමක් ඇති කණ්ඩායමේ වාර්තාව මේ සතියේ ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා එය හිතමතාම දෙයක් වුවහොත් ජනාධිපතිතුමා සමඟ ද සාකච්ඡා කර නීතිය ක්‍රියාත්මක කරන බවත්ය.