
(සුජිත් හේවාජුලිගේ )
ඉන්ද්‍රිය සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශවල පවතී දැයි සොයා ගැනීම සඳහා තවත් පරීක්ෂණ වටයක් ලබන සතියේදී අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය.
පරීක්ෂණ වටයක් යළි අරඹන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇතැයිද
ඔහු සඳහන් කළේය.
ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා මෙතෙක් භාවිතා කළ "ඉලුමිනා" තාක්ෂණය වෙනුවට ඔක්ස්ෆර්ඩ් නැනෝ තාක්ෂණය මේ පරීක්ෂණ සඳහා ප්‍රථම වතාවට යොදා ගැනීමට නියමිතය .
එම නැනෝ තාක්ෂණය පෙර භාවිතා කළ තාක්ෂණයට වඩා කාර්යක්ෂමතාව පැත්තෙන් ඉතා ඉහළ බවද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.
නැනෝ තාක්ෂණය සඳහා අවශ්‍ය කෙරෙන උපකරණ මෙරටට පසුගියදා රැගෙන එනු ලැබීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මෙයට පෙර කළ ජාන විශ්ලේෂණ පරීක්ෂණවලදී ඉන්දීය සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පස් දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හඳුනා ගැනීමට එහි පර්යේෂකයන්ට හැකි විය .
ඒ ආසාදිතයන් පස් දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී යම් සැක සහිත තත්ත්වයක් පෙනෙන්නට තිබූ නිසා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වලට කල්තියා දැනුම් දුන් බවත් අදාළ ප්‍රදේශය හුදෙකලා කර අවශ්‍ය සෞඛ්‍යමය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශවලට මේනිසා හැකි වූ බවත් ජීවන්දර මහතා අනාවරණය කළේය.

