
(නිමන්ති රණසිංහ)
මුහුදු සීමා උල්ලංඝණය කරමින් ශ්‍රි ලංකා මුහුදට බලහත් කාරයෙන් පැමිණී ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදා අධිවේග යාත්‍රාවක ගැටී පෙරළීයාමෙන් ඉන්දීය ධිවරයෙක් අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පවසයි.
අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළුව ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් මෙරට මුහුදු තීරයෙන් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් 18 වැනිදා රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී මෙම අනතුර සිදුව ඇතැයි ද නාවික හමුදාව සදහන් කරයි.
කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදේ මසුන් මරමින් සිටි මෙම ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක සිටි ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පලවා හැරීම සදහා නාවික හමුදාව කටයුතු කරමින් සිටියදී, හමුදා යාත්‍රා මඟහැරීම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින් ආවේගශීලී ලෙස යාත්‍රාව ගැටීමට සැලැස්සූ එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් මෙසේ අනතුරට ලක්වූ බවද වාර්තා වේ.
මෙම අනතුරෙන් එම ධීවර යාත්‍රාවේ සිටි ඉන්දිය ධීවරයන් දෙදෙනෙක් ඒ මොහොතේම බේරාගත් බවත් එක් ධීවරයෙක් අතුරුදන් වූ බවත් නාවික හමුදාව පවසයි.
නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ඇතුළුව වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රා අතුරුදන් ධීවරයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද නාවික හමුදාව සදහන් කරයි.
ධීවර යාත්‍රා ගැටීම හේතුවෙන් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවට ද අලාභහානි සිදුවී ඇති බවත් එය, අළුත්වැඩියා කටයුතු සඳහා කංකසන්තුරය වරායට රැගෙනවිත් ඇති බවත් නාවික හමුදාව පවසයි.
මෙම අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ කටයුතු සිදුකෙරෙන බව නාවික හමුදාව පවසයි.

