ඉන්දීය ආරක්ෂක ඇමැති හෙට මෙරටට


(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා හෙට (02) සහ අනිද්දා (03) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

එම සංචාරයේ අරමුණ ඉන්දීය මුහුදු කලාපය තුළ මතුවන අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා දෙරටේ ද්වි පාර්ශ්වික හමුදා සබඳතා සහ සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම සංචාරයේදී අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමටද නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ.

චීනය කලාපය තුළ වර්ධනය වෙමින් පවතින මොහොතක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට මාධ්‍ය පෙන්වා දී ඇත.

එසේම ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ණය පහසුකමක් ලබා දී තිබෙන බවත් ඉන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් ප්‍රයෝජනයට ගෙන තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.