ඉන්දීය ආධාර නැවක් ත්‍රිමලේට සේන්දු වෙයි


(අමදෝරු අමරජීව)

ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා මානූෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් "INS  Gharial" නැමැති නෞකාව ඊයේ(08) ත්‍රිකුණාමල වරාය අධිකාරියට අයත් "අශ්රොප්" ජැටියට සේන්දු වූහ.

දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ සිට මෙරටට පැමිණි මෙම නෞකාව තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය විසින් ජාත්‍යන්තර ආපදා කලාපීය රාජ්‍යයක් වෙත මානූෂීය ආධාර රැගෙන මෙරටට පැමිණි පළමු නෞකාව ලෙස මෙම මානූෂීය ආධාර රැගත් නෞකාව ලෙස සැලකේ.

ලංකාවේ බලපෑ ආපදා තත්ත්වය මත මානූෂීය සහන සැලසීම සඳහා ඉන්දීය රජය ආරම්භ කළ "සාගර් බන්දු" මෙහෙයුමට (Operation SagarBandhu) එක්වෙමින් තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය මෙම මානූෂීය ආධාර තොගය ශ්‍රී  ලංකාවට ලබා දී තිබුණි.

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ යාපනයේ ස්ථාපිත උප කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් සායි මුරලි මහතා විසින් මෙම ආධාර තොගය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වෙත නිල වශයෙන් ත්‍රිකුණාමල වරායේ දී භාරදීම සිදුකළහ.