(විනීතා එම් ගමගේ)
බුදු දහම විකෘති කරන අවස්ථාවල දී සහ ඉතිහාසය හෝ පුරාවිද්‍යා ස්ථානයන් පිළිබඳ වැරදි අර්ථකතන දෙන අවස්ථාවන් හිදී ඒවා නිවැරදි කිරීම් ඇතුළු කටයුතු සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කළහ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාසිකව රැස්වන බෞද්ධ උපදේශක සභා රැස්වීමේ දී අභයතිස්ස හිමියෝ මෙම යෝජනාව සිදු කරනු ලැබූහ.
ජාතික උරුම හා පුරාවිද්‍යාව පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත පිරිසක් මෙම කමිටුව සඳහා පත් කරන ලෙසත් එකී කමිටුව සඳහා කැබිනට් අනුමැතිය ලබාගන්නා ලෙසත් මැදගොඩ අභයතිස්ස හිමියෝ රජයට යෝජනා කළහ.
බුදුදහම විකෘති කරන අවස්ථාවන්හිදී මෙන්ම ඉතිහාසය හෝ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ වැරදි මත පළ කරන අවස්ථාවන් හිදී ගත යුතු ක්‍රියාමාර්ග එම කමිටුව පත් කළ පසු තීරණය කරනු ඇතැයි තම යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් අභයතිස්ස හිමියෝ පැවැසූහ.
ඓතිහාසිකත්වය නිවැරදිව අර්ථකථනය කළ යුතු බෞද්ධ සිද්ධස්ථාන රාශියක් ඇතැයි කී උන්වහන්සේ හිරිවඩුන්න ප්‍රදේශය පිළිබඳව ඇති මිත්‍යාව ඉන් එකක් බවත් මේ වනවිට එහි කැණීම් ආරම්භ කර ඇති බැවින් ඉදිරියේ දී සත්‍යය හෙළි කරගත හැකි වන බවත් සඳහන් කළහ.
එමෙන්ම අන්‍යාගමිකයන් අල්ලාගෙන සිටින ස්ථාන පිළිබඳව කටයුතු කිරීමේ දීද මෙවැනි කමිටුවක අවශ්‍යතාවය තදින් දැනෙන්නේ යැයි පැවසූ මැදගොඩ නාහිමියෝ ජනාධිපතිතුමන් ඉක්මණින්ම ඒ ගැන යම් පියවරක් ගනු ඇතැයි විශ්වාස කරන බව ද කියා සිටියහ.

