ඉතාලි වෛද්‍යවරියගේ දුරකතනය පැහැරගත් ත්‍රීවිල් මල්ලී මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඉතාලි ජාතික තරුණ වෛද්‍යවරියකගේ රුපියල් එක් ලක්ෂ හැට දහසක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය හොරාගෙන ගෙන පලාගොස් සිටි බව කියන ත්‍රීරෝද රථ රියදුරකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.

මේ රට සංචාරයක් සඳහා පැමිණි මෙම ඉතාලි ජාතික වෛද්‍යවරිය මහනුවර ගොස් පසුව ත්‍රීරෝද රථයකින් ශ්‍රී දළදා මාලිගාව නැරඹීමට ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය.

තමා යළි පැමිණෙන තෙක්සිටින ලෙස ත්‍රිරෝද රථ රියදුරාට වෛද්‍යවරිය දැනුම් දී තිබුණු බවද පැවසේ.

අමතක වීමකින් ඇපල් වර්ගයේ මෙම ජංගම දුරකථනය ත්‍රිරෝද රථයේ  දමා ගොස්  ඇත.

ඉතාලි ජාතික තරුණ වෛද්‍යවරිය යළි පැමිණ බලන අවස්ථාවේ ත්‍රිරෝද රථ රියදුරා දක්නට නොසිටි නිසා තමාගේ ජංගම දුරකථනයද සොරා ගෙන පලාගොස් ඇති බව සඳහන් කරමින් මහනුවර පොලිස් සංචාරක ඒකකයට පැමිණිලි කරනු ලැබුවාය.

පොලිසිය පරීක්ෂණ පවත්වා ත්‍රීරෝද රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඔහුගෙන් හෙළි කර ගත් තොරතුරු මත ඉතාලි ජාතික වෛද්‍යවරියගෙන් සොරාගෙන ගිය ජංගම දුරකථනයද හොයාගෙන ඇත.