ඉත්තෑවා අල්ලාගැනීමට ගුලකට ඇතුළු වූ අයෙක් එහි සිරවී මරුට


(තිලකරත්න දිසානායක)

ගණේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේදී ඉත්තෑවෙකු අල්ලා ගැනීම සඳහා ගුලකට ඇතුළුවී, එහි සිරවී මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුර අද (19)  මහත් පරිශ්‍රමයක් දරා ගොඩගත් බව ගණේමුල්ල පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අජිත් වර්ණකුලසූරිය නමැත්තෙකි.

මෙම පුද්ගලයා කොස්සින්න ප්‍රදේශයේ වැඩබිමක සේවය කරමින් සිට ඇති අතර, මොහු සමඟ එහි සේවකයන් දෙදෙනෙකු ඊයේ(18) රාත්‍රියේ  මහමග යමින් සිටියදී ඉත්තෑවෙකු දිවයනු දැක ඒ දෙසට ගොස් ඇත. ඔහු පසුදින උදෑසන වනතෙක් ආපසු නොපැමිණීම හේතුවෙන් සේවකයන් වැඩබිමේ හිමිකරුට දැනුවත් කර තිබිණි. පසුව ඔවුන් එම ස්ථානයට ගොස් බැලීමේදී ඉත්තෑ  ගුල තුළ විදුලි පන්දම් එළියක් දැක පොලීසිය දැනුවත් කර තිබේ.

බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින්, ගම්පහ මහ නගර සභාවේ ගිනි සොයා නිවීමේ ඒකකයේද සහාය ඇතිව අඩි 15 ක පමණ දුරකට විහිදෙන මෙම ගුල හාරා අද එම තැනැත්තාගේ සිරුර සොයා ගෙන ඇත.

එම සිරුර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත යැවීමට ගණේමුල්ල පොලීසිය පියවර ගෙන ඇත.

ගණේමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.