ඇලස්කා ගුවන් යානයක් අතුරුදන්


(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ උනලක්ලීට් සිට නෝම් නගරය බලා පියාසර කළ සැහැල්ලු ගුවන් යානයක් අතුරුදන් වී ඇති බවත් එය අනතුරට පත් වන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඇලස්කාවේ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව පෙරේදා(06) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එම ගුවන් යානය අතුරුදන් වන මොහොතේ මගීන් 9 දෙනකු එහි සිට ඇති බවත් එක් ගුවන් නියමුවකු යානය පියාසර කර ඇති බවත් ඇලස්කාවේ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව පැවැසුවේය. ගුවන් යානය අවසන්වරට රේඩාර් තිරයේ දිස්වූ ස්ථානයේ මුදා ගැනීමේ කණ්ඩායම් ගුවන් යානය සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

අතුරුදන් වූ ගුවන් යානය ප්‍රාන්ත අතර ක්‍රියාත්මක වන බෙයාරින්ග් එයාර් ගුවන් සේවයට අයත් එකක් බවද ඇලස්කාවේ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ගුවන් යානය උනලක්ලීට් නගරයෙන් එරට වේලාවෙන් පස්වරු 2.38 ට පියාසර කිරීම ආරම්භ කර ඇති බවත් අතුරුදන් වන අවස්ථාවේ ජලය සහිත ප්‍රදේශය පියාසර කරමින් සිට ඇති බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.