( තිළිණි ද සිල්වා )
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ මහතා ලබන 24 වැනිදාත් 30 අතර කාලසීමාව ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකාවේ සහෝදරත්වය පළ කිරීම ද මෙම රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණ යැයිද පැවසේ.
ශ්‍රී ලංකාවට අමතරව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එම කාලය තුළ ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයකද සංචාරය කිරීමටද නියමිත බව එම රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.
ඉන්දියාවේ සංචාරය කිරීමෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ මහතා මෙරට සංචාරය කරනු ඇත.
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලබන 24 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙන අතර එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.
ඉන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණ දේශපාලන නායකයන් මුණ ගැසෙනු ඇත. එසේම ඉන්දු ‐ පැසිෆික් කලාපය සඳහා පොදු එකඟතාවයෙන් යුතුව ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි ද පැවසේ.
ඇමරිකාව පසුගිය වසර කිහිපය පුරාම ආසියා - පැසිෆික් කලාපීය රටවල් සමඟ සහයෝගීතාවයෙන් යුතු කටයුතු කරන අතර අවසන් වරට ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයකු දිවයිනට පැමිණියේ 2015 වසරේදීය. ඒ එවකට සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වූ ජෝන් කෙරී මහතාය.

