(සුජිත් හේවාජුලිගේ )
ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් තවමත් ඉවත්වී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර කැප්පෙටිපොළ මාවතේ ඇමැති නිල නිවාස (සමිට් ෆ්ලැට්) ලබා ගෙන සිටින ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ ලයිස්තුව වහාම ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම්දී ඇත.
එම ලයිස්තුව ඉල්ලා ඇත්තේ ඇමැති නිල නිවාස ලබා ගෙන සිටින්නේ කවුදැයි නිශ්චිතවම තහවුරු කරගැනීම සඳහා යැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඇමැතිවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනෙකු එම නිල නිවාස පසුගියදා බාරදී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ මන්ත්‍රී නිල නිවාස භාරදී ඇත්තේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන්වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ ඩී බී හේරත් යන මහත්වරුන්ය.
නාමල් රාජපක්ෂ මහතා සහ රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරුන් මන්ත්‍රී නිල නිවාස භාරදී ඇත්තේ මෙම මස මුල් සතියේදීය.
මරණ දඬුවම නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාද ඔහුගේ මන්ත්‍රී නිල නිවාසය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයට පසුගියදා බාරදී ඇතැයි වාර්තා වෙයි.
මන්ත්‍රීවරයකු ලෙස ඔහුට මන්ත්‍රී නිල නිවාසයක් පාවිච්චි කිරීමට අයිතිවාසිකමක් ඇතැත් ඔහු එම නිල නිවෙස නැවත බාරදී ඇත්තේ තමාගේ කිසිවකුත් එහි ජීවත් නොවන බව දැනුම් දෙමිනි.
කෙසේ වෙතත් ඇමැති නිල නිවාස ලබාගෙන නොමැති ඇමැතිවරුන්ට හෝ රාජ්‍ය ඇමැතිවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ලබාදීම ගැටලුවක් නොවන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

