(සුජිත් හේවාජුලිගේ)
ඇමැතිවරුන් දස දෙනකු ඇමැති නිල නිවාස වරප්‍රසාද භුක්ති විඳිද්දී මාදිවෙල මන්ත්‍රී නිල නිවාසද පාවිච්චි කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ තත්වය සැලකිල්ලට ගෙන ඇමැති නිවාස (සමිට් ෆ්ලැට්) දැනට පාවිච්චි කරන ඇමැතිවරුන්ගේ ලැයිස්තුව වහාම ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පසුගියදා දැනුම් දුන්හ.
එම ලැයිස්තුව ලබන සතියේ ලැබීමට නියමිතව ඇති බවත් ඇමැති නිල නිවාස වරප්‍රසාද භුක්තිවිදින අතරේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලද පදිංචිව සිටින ඇමැතිවරුන් සම්බන්ධයෙන් එම වාර්තාව ලැබුණු පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් පාර්ලිමේන්තු ප්‍රධානියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මේ අතර මන්ත්‍රීවරුන් දස දෙනකු තමන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ට අයදුම්පත් යොමු කර ඇත.
මෙසේ අයදුම්පත් යොමු කර ඇති දස දෙනාම නවක මන්ත්‍රීවරු වෙති.
ඇමැතිවරුන් මෙසේ පදිංචිව සිටීම නිසා එම මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම ගැටළුවක්වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණනක හිඟ මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.
මෙම හිඟ මුදල වහාම ගෙවන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් එම හිටපු මන්ත්‍රීවරුන්ට දැනටමත් සිහිකැඳවීම් ගණනාවක් කර ඇත.

