ඇමරිකාව ඕන සහයක් දෙන්න සූදානම්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ගොඩනැගීමේ ගමනට ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමරිකාව සූදානම් බව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර්(Allison Hooker) මහත්මිය පැවසුවා ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි වනු ඇතැයි රාජ්‍ය ලේකම්වරිය කීවාය .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (11)සිදු වූ අතර එහිදී උප ලේකම්වරිය මේ බව සඳහන් කළාය. 

ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනය හමුවේ සහාය ලබා දීමට හැකි වීම පිළිබඳ මෙහිදී සතුටු පළ කළ Allison Hooker මහත්මිය ආපදාවෙන්  මියගිය සියලුදෙනාගේ පවුල් වෙත සිය ශෝකය පළ කර සිටියා ය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, 
අසීරු අවස්ථාවේ විවිධ සහනාධාර සහ සහන කණ්ඩායම් මෙරටට එවමින් ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැක් වූ සහාය වෙනුවෙන් ස්තූතිය පළ කරන බවයි. ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට  මුහුණ දීමට සිදු වූයේ රටේ  ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන එමින් ආර්ථික දර්ශකද ඉහළ නංවා ගනිමින් සිටින මොහොතක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආපදාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සහ දිගුකාලීනව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේ දී විශේෂ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.