ඇදිරියෙන් සිරවී සිටින්නන් ගම්බිම් වලට ගෙන යාමේ වැඩපිළිවෙළක්


(නිමන්ති රණසිංහ)

ඇදිරි නිතිය හේතුවෙන් බස්නාහිර පළාත තුළ සිරවී සිටින ශ‍්‍රමිකයින් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත් කර හැරීම සදහා වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරිම කෙරෙහි අවධානය යොමුව ඇතැයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අද (05) පැවසීය.

බස්නාහිර ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝසර්ස් රොෂාන් ගුණතිලක මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් යෙදීම සදහා සාකච්ඡා සිදුකරමින් ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පතිවරයා කළ විමසීමකදී වැඩිදුරටත් සදහන් කළේය.

කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම ඇතිවී මේ වන විට සති දෙකක් ඉක්ම ගොස් තිබීම හේතුවෙන් බස්නාහිර පළාත තුළ යම් යම් ආයතනවල සහ නවාතැන්පලවල සිරවී සිටින ශ‍්‍රමිකයින් ඔවුන්ගේ ගම් බිම් බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවරයන් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡුා සිදුකරමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම, සෞඛ්‍ය බලධාරීන්ගේ වෛද්‍ය නිර්දේශයන්ගෙන් අනතුරුව මෙම ශ‍්‍රමිකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදහස් කර ගෙන ඇතැයි ද බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සදහන් කළේය