(එම්.කේ.නන්දසේන)
ඇත් දළ දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වරද පිළිගැනීම නිසා රුපියල් 50,000ක දඩමුදලක් ගෙවන ලෙස තිස්සමහාරාම දිසාවිනිසුරු හා මහෙස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද (19) නියෝග කළාය.
මෙලෙස දඩ නියම වූයේ යෝධකණ්ඩිය, උද්දකන්දර මාර්ගයේ පදිංචි ජේ.පී. චන්දන නැමති අයෙකුටය.
වර්ෂ 2013 දෙසැම්බර් 09 දින යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයාගේ ගෙවත්තේ දහයියා ගොඩක් යට සඟවා තිබියදී මෙම ඇත් දළ දෙක සොයාගත් අතර මොහු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවිමෙන්පසු නිවරදිකරු බවට ප්‍රකාශ කළ හෙයින් ඇප මත මුදාහැර තිබිණ.
එවකට යාල උද්‍යානයේ සිටි අඩවි ආරක්ෂක නිලධාරීන් වන රංජිත් සිසිර කුමාර, එන්.ජී. පේමදස, වන සත්ව නියාමක වරැන් වන වසන්ත ජයවර්ධන, අත්තනායක හා ක්ෂේත්‍ර සහායක ඩයස් එදිරිවීර යන නිලධාරීන් විසින් මෙම ඇත්දළ දෙක සිය බාරයට ගනුලැබිණ.
යාල ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය නිලධාරි අඩවි ආරක්ෂක ඩී.එම්. අජිත් වසන්ත කුමාර මහතා මෙම නඩුව මෙහෙයවීය.

