ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම ගැන ගාල්ලේ දී සාකච්ඡාවක්


(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි ආහාර හිඟයට පිළියම් වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ යාන්ත්‍රණයක් සැකසිය යුතු බව අද (01) පැවැති ගාල්ල දිස්ත්‍රික් විශේෂ කෘෂිකර්ම කමිටුවේ දී තීරණය විය.

ඉදිරියේ දී ඉන්දියාව වැනි රට වලින් ආහාර ආනයනය සීමා සහිත වන බැවින් රට තුළ ආහාර සංචිත ඉහළ අගයක පවත්වාගෙන යෑම වැදගත් වන බව ද ඒ සඳහා අවශ්‍ය කඩිනම් පිළියම් යෙදිය යුතු බව ද මෙම කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සාකච්ඡා විය.

මෙහි දී දිස්ත්‍රික්කයේ පවතින පුරන් කුඹුරු අඳුනා ගැනීම එම පුරන් කුඹුරු වල වගා කළ හැකි අතිරේක බෝග හදුනා ගැනීම ප්‍රධාන ඉලක්කයක් බව ද දිස්ත්‍රික් ලේකම් වරයා පැවසීය.

ඉදිරි දින 30 තුලදී මෙම වගා කටයුතු ආරම්භ කළ යුතු බව ද කී දිස්ත්‍රික් ලේකම්වරයා දිස්ත්‍රික්කයේ මේ මොහොතේ ආහාර අවශ්‍යතාව සහ නිෂ්පාදන පරතරය ගණනය කිරීම සිදු කළ යුතු බව ද පැවසීය.

 

ඉදිරි මාසය තුළ දී වගා කළ හැකි බෝග වර්ග හඳුනා ගෙන ඒ අනුව වගා කටයුතු සිදු කළ යුතු බව ද අනාවරණය විය.

එම කටයුතු සඳහා පුහුණුව සහ උපදෙස් අවශ්‍ය පරිදි ලැබී තිබෙන හෙයින් විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවන බව ද වගා සංග්‍රාමය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද ලේකම්වරයා කීය.

මෙම අවස්ථාවට ගොව් ජන සේවා සහකාර කොමසාරිස් , දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ , දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.