ආබාධ සහිත දරුවන්ට කොරෝනා එන්නත හෙට සිට ඇරඹේ


(නිමන්ති රණසිංහ සහ දිලංගා ගෝමස්)

වයස අවුරුදු 12ත් 19ත් අතර “සංජානනීය ආබාධ” සහිත දරුවන් වෙනුවෙන් එන්නත්කරණය හෙට  (24) කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ආරම්භ කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණීය මහතා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණීක නිර්දේශයන්ට අනුව එම දරුවන් සදහා “ෆයිසර් එන්නත” මෙහිදී ලබාදෙනු ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.

විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය සහ දෙමාපියන්ගේ අත්සන සහිත පත්‍රිකාව පිරවීමෙන් පසු විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරියේ එම දරුවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එන්නත ලබාදීම සිදු කෙරෙන බව ද වෛද්‍යවරයා පැවසීය.

ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයා එසේ සදහන් කළේ, “දරුවන්ගේ එන්නත්කරණය පිළිබද රජයේ සැලැස්ම සහ අභියෝග” යන මැයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන ලද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

“සංජානනීය ආබාධ” සහිත දරුවන් 50,000ක පමණ පිරිසක් මේ වන විට හදුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් බහුතරය දිවයිනේ රෝහල්වල සායනවලට පැමිණෙන බවත්, ඒ අනුව එම දරුවන් සදහා රෝහල්වලදීම එන්නත් ලබාදීමට කටයුතු කරන බවත් වෛද්‍ය පාදෙණීය මහතා පැවසීය.

දරුවන් සදහා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලේදී ඛාණ්ඩ තුනකට නිර්දේශ ලැබී ඇති බව කී විශේෂඥ වෛද්‍යවරයා වයස අවුරුදු 12ත් 19ත් අතර “සංජානනීය ආබාධ” සහිත දරුවන්ට සහ වයස අවුරුදු 15ට වැඩි දරුවන් සඳහා මෙම එන්නත් ලබාදීමට නිර්දේශ ලැබී ඇති බවද පැවසීය.

කෙසේ වෙතත් වයස අවුරුදු 12ත් 15ත් අතර සංකූලතා රහිත දරුවන් සදහා එන්නත්කරණය වෙනුවෙන් මෙතෙක් නිර්දේශ ලැබී නැතැයිද වෛද්‍ය පාදේණීය මහතා පැවසීය.