ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රය විවෘත කරයි


(ඩයනා උදයංගනී)

රටක ආබාධ සහිත ප්‍රජාව ඉල්ලන්නේ විශේෂ වරප්‍රසාද නොව තමන්ගේ මානව අයිතීන් බැවින් ඒවා ලබාදීම රජයක යුතුකම යැයි ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා අද (23) පැවසීය.

ආබාධ සහිත ප්‍රජාවට ලබාදෙන පිළිගැනීම රටක ශිෂ්ඨ සම්පන්නභාවය මැනීමේ ප්‍රබලම දර්ශකයක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙරට භාෂාවේ ආබාධිත ජනතාවගේ සිත් රිදවන ආකාරයේ උපමා, උපමේය, රූපක, පිරුළු ඇතුළත්ව ඇති එම සහෝදර පුරවැසියන්ගේ සිත් නොරිදෙන පරිදි භාෂාව හැසිරවිය යුතු බවත් කීවේය.

ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ලෝක සංඥා භාෂා දිනය නිමිති කරගනිමින් අද (23) මෙම කේන්ද්‍රය විවෘත කෙරිණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන ගොඩනැගිල්ලේ බිම් මහලෙහි මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර ආබාධ සහිත ප්‍රජාවගේ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් සකස් කළ සන්නිවේදන යෙදවුම දියත් කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මෙම මධ්‍යස්ථානය ආබාධ සහිත සහෝදර ප්‍රජාවට අහිමි වී තිබූ මූලික අයිතියක් නැවත ලබාදීමේ මානුෂීය සංග්‍රාමයේ හැරවුම් ලකුණක් බවයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මොහාන් සමරනායකආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ  සභාපති රසාංජලී පතිරගේ මහත්මිය, ලේකම් කුලරත්න එදිරිසිංහ, නියෝජ්‍ය ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ, කමිටු සාමාජික බ්‍රයන් සුසන්ත, විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ නියෝජිතයන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)