ආපදාවට පත් නවසීලන්ත පැදි යාත්‍රාව හම්බන්තොටට


(යොහාන් භාසුර)  

ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, සමුද්‍රීය පර්යේෂණ කාර්යයක නිරත වෙමින් සිටියදී, දෝෂයක් හේතුවෙන් දකුණු මුහුදේදී ආපදාවට පත්වූ නවසීලන්තයට අයත් ‘ලිට්ල් ඩොන්කි’ නැමැති පැදි යාත්‍රාව එහි සිටි විදේශීය ජාතිකයින් දෙදෙනෙක් සමඟ අළුත්වැඩියාව සඳහා නිරුපද්‍රිතව හම්බන්තොට වරායට රැගෙන ආ බව නාවික හමුදාව පසවයි.  

පර්යේෂණ කාර්යක් වෙනුවෙන් බෙංගාල බොක්ක මුහුදු තීරය තුළින් ක්ෂුද්‍ර ජීවි සාම්පල ලබාගැනීම සඳහා තායිලන්තයේ සිට පැමිණි එම පැදි යාත්‍රාවේ පැදි පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට දකුණින් වූ මෙරට සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් කළාපය තුළදී ආපදාවට පත් වී ඇති බවත් එම යාත්‍රාව  යථා තත්වයට පත් කිරීම සඳහා ගොඩබිම වෙත ඇදගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබා දෙන ලෙෂ එහි දේශිය නියෝජිතයින් කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ආපදා සහන ඉල්ලීමක් යොමුකර තිබූ බවත් නාවික හමුදාව කියයි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බළඝණයට අයත් පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව ආපදාවට පත් යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කළ බව කී නාවික හමුදාව පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ආපදාවට පත් එම පැදි යාත්‍රාව සහ එහි සිටි විදේශීය ජාතිකයින් දෙදෙනා ඊයේ රාත්‍රිය නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව ද සඳහන් කළේය.

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කළාපයේ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු නිරන්තරයෙන් කරයි.