ආපදා වෙලාවේ බිළිඳුන්ට මව්කිරි විතරක් දෙන්න


(අංජුල මහික වීරරත්න)

ආපදා තත්වයේදීත් දිගටම දරුවන්ට මවුකිරි දෙන්නැයි ද පිටිකිරි ලබාදීම සඳහා මව්වරු පෙළඹවීම සිදු කරන්න එපා යැයි ද  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ  ,පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ  වෛද්‍ය  චන්දිම සිරිතුංග මහතා ඉල්ලා සිටී.

දරුවාගේ  උපතේ සිට මාස හයක් ගතවන තුරු එකම ආහාරය මව්කිරි බවත් මේ කාල සීමාවේ දරුවාට  මව් කිරි වලට අමතරව ජලය වත් ලබා නොදිය යුතු යැයි විශේෂඥ  වෛද්‍ය  චන්දිම සිරිතුංග මහතා පවසයි.

"කුමන ආපදා තත්වයක වුවද  මව ජීවත්ව සිටීනම් මවගේ මව්කිරි නිපදවෙයි. දරුවා අසල මව නොමැති විශේෂිත තත්වයක මිස මව්කිරි ලබා දීම දිගටම කළ යුතුය. 

උපතේ සිට මාස හයක් ගතවන තුරු මව්කිරි  දරුවාට පරිපූර්ණ ආහාරයකි.දරුවාට අවශ්‍ය සියලු පෝෂණය රෝග වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තියද , ජලයද දරුවාට ලැබෙන්නේ මව් කිරි වලිනි. එම ප්‍රතිශක්තිය ආපදා වකවානුවේ  පැතිරී යා හැකි රෝග වලින් ආරක්ෂා වීමට දරුවාට ඉතා වැදගත් වේ. වයස මාස හයෙන් පසුවද  අනෙක් ආහාර සමගම දරුවාට මව් කිරි  ලබා දීම කල යුතුය.

මේ ආපදා තත්වය හමුවේ ඇතැමුන් පිටිකිරි,ළදරු පිටිකිරි,කිරි බෝතල් ප්‍රවර්ධනය කරනු නිරීක්ෂණය වෙයි.එසේ සිදු කිරීම සමස්ත ජාතියේම දරුවන්ට කරන හානියකි.එබැවින් එසේ ළදරු කිරිපිටි ප්‍රවර්ධනය කිරීම ,ආපදා සහන සමග බෙදා නොහරින ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී"යනුවෙන්ද විශේෂඥ  වෛද්‍ය  චන්දිම සිරිතුංග මහතා පවසයි.