(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000 ක මුදලක් වෙන් කර ඇති අතර එම සියලු ප්‍රතිපාදන මේ වන විට අදාළ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ප්‍රාදේශීය ලේකම්වරු වෙත යොමු කර තිබේ.
ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් රජයෙන් එක් සිසුවෙකුට රුපියල් 25,000ක මුදලක් ලබා දීමට පියවර ගෙන තිබෙන අතර එයින් රුපියල් 15,000ක් මහා භාණ්ඩාගාරයෙන්ද, රුපියල් 10,000ක් ජනාධිපති අරමුදලින්ද ලබා දීම සිදු කෙරේ.
ඒ අනුව අම්පාර, හම්බන්තොට, පොළොන්නරුව, මොනරාගල, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන්, ජනාධිපති අරමුදලින් ලබා දෙන රුපියල් 10,000ක දීමනාව මේ වන විට සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන අතර අනෙකුත් දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන්ද අදාල මුල්‍ය ප්‍රදානය කඩිනමින් ලබා දීමට නියමිතය.

