
(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි මිල හෙට (30) නැවත ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
කිරිපිටි කොපමණ මුදලකින් ඉහළ යන්නේද යන්න අද ප්‍රකාශයට පත්කරන බව කී අශෝක බණ්ඩාර මහතා මෙම කිරිපිටි මිල ඉහළ දැමීම ඇතැම් විට කිරිපිටි ආනයනකරුවන්ගේ සාමූහික ඉහළ දැමීමක් නොවීමට ඉඩ ඇති බව ද සඳහන් කළේය.
කිරිපිටි සඳහා පාලන මිලක් නොමැති වීම නිසා කිසියම් සමාගමකට මිල වැඩි නොකිරීමේ අවස්ථාව තිබෙන බවත් එමගින් වෙළෙදපොළේ තරගකාරී තත්වයක් නිර්මාණය විය හැකි බවත් අශෝක බණ්ඩාර මහතා කීය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කිරිපිටි ආනයනික සමාගමක් වන ‘පොන්ටේරා’ සමාගමේ ප්‍රකාශයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස කිරිපිටි වැඩි කළ ද ඉන් පසුව ද කිලෝවකින් රුපියල් 100 කට අධික පාඩුවක් ලැබූ බවත් එම තත්වය හමුවේ සිය සමාගමේ කිරිපිටි මිල වැඩි කිරීමට ඉඩ ඇති බවත්ය.
ආනයනික කිරිපිටි සමාගමක් වන ‘ආරිය’ කිරි සමාගමේ ප්‍රකාශයෙක්ගෙන් කළ විමසුමකදී පැවසුවේ එම සමාගම කිරිපිටි ආනයනය මේ වන විට අත්හිටුවා ඇති බවත් ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමට නොහැකි වීම ආනයනය අත්හිටුවීමට හේතුව බවත්ය.
ආනයනික කිරිපිටි මිල අවසන් වරට පසුගිය ඔක්තෝබර් මස 10 වැනිදා ඉහළ දැමූ අතර එහිදී කිරිපිටි කිලෝවක් රුපියල් 250 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100 කින් ද, ඉහළ දැමීය.
ඒ අනුව මේ වන විට කිරිපිටි කිලෝවක් රුපියල් 1195 කට සහ කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 480 කට අළෙවි කරනු ලැබේ.
මාසයක පමණ කාලයක සිට රට පුරා දැඩි කිරිපිටි හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

