ආනයනය කිරීමට සූදානම් වන ඖෂධ 43ක් දේශීය නිෂ්පාදන


(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව ආනයනය කිරීමට සූදානම් වන ඖෂධ වර්ග 113න් ඖෂධ වර්ග 43ක් මෙරට නිෂ්පාදනය බවත් නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරනවා යැයි පොරොන්දු ආණ්ඩුව  කටයුතු කරන ආකාරය පුදුමසහගත බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (10) පැවසීය.

නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා එසේ පැවසීය.

ඖෂධවල ගුණාත්මකභාවය පිළිබද විශාල ප්‍රශ්නයක් ඉදිරියේදී මතු විය හැකි බවත් නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න, ආනයන අඩු කරන්න සහ අපනයනාභිමුඛ ආර්ථිකයක් හදන්න මැතිවරණයේදී පොරොන්දු වුනු ජාතික ජන බලවේගය ආණ්ඩුව වර්තමානයේ හැසිරෙන ආකාරය ප්‍රශ්න සහගත බවත් ඒ මහතා කීය.

තවත් ටික දිනකින් ලොකු ඖෂධ හිඟයක් තියෙනවා, ලියාපදිංචිය ප්‍රමාදයි, යැයි පවසමින් ලියාපදිංචිය අත්හැරීමේ ඩබ්ලිව්ඕආර් ලිපි හරහා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මෙන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද හදිසි මිලදීගැනීම් කළත් පුදුම නොවිය යුතු බවත් වර්තමාන ආණ්ඩුව පොරොන්දු වුනු සිස්ටම් චේන්ජ් එක මේකදැයි ප්‍රශ්න කරන බවත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

 විදේශීය රටවලින් ආනයනය කරන ඖෂධ වර්ග 113න් ඖෂධ 43ක් මෙරට නිෂ්පාදනය කර වසරකින් එම සමාගම්වලට අවශ්‍ය ලියාපදිංචිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලබාදිය යුතු වුවද එය නිකුත් කිරීම වසර 4කටත් වැඩි කාලයක් ප්‍රමාද කර තිබෙන බව කී පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ මෙරට ලියාපදිංචි නැති ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර ආනයනය කරන බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසා ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.