ආනන්ද විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති නිදොස්කොට නිදහස්


(මනෝප්‍රිය ගුණසේකර)

පාසල් සිසුවකුගේ කම්බුලට අතින් පහර දී සුළු තුවාල සිදු කළ බවට චෝදනා ලැබ සිටි කොළඹ ආනන්ද විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළාය 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉතා දුර්වල විමර්ශනයක යෙදී ඇති බවත් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බවත් තීරණය කළ මහේස්ත්‍රාත්වරිය ආනන්ද විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළාය 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙලෙස සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලද්දේ ආනන්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පති පාලක වශයෙන් කටයුතු කළ ප්‍රැන්සිස් වෙලගේ මහතාය .

2015 මැයි 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ආනන්ද විදුහලේදී සිසුවකුට අතින් පහර දී සුළු තුවාල සිදු කිරීමෙන් දණ්ඩ නිති සංග්‍රහයේ සංග්‍රහයේ 314 වැනි වගන්තිය යටතේ වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව මරදාන පොලිසිය විසින් චෝදනා නගා තිබිණි මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේ දී තුවාල ලත් පාසල් ශිෂ්‍යයා  එම පාසලේම ඉගෙනුම ලබමින් සිටි ඔහුගේ වැඩිමල් සොහොයුරු මෙන්ම ඔහුගේ පියා සහ විමර්ශනය කළ පොලිස් නිලධාරියා සාක්කි දී ඇති අතර විත්තිකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ද සාක්ෂි ලබාදී ඇත.

කොණ්ඩය කපාගෙන නොපැමිණීම නිසා පාසල් ගේට්ටුව අසල මුර කුටිය අසල දී විත්තිකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා අදාළ සිසුවා ගේ කොණ්ඩෙන් අල්ලා කම්බුලට පහර දුන් බවට පැමිණිල්ල විසින් සඳහන් කළත් විත්තිකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් 2015 වසර වන විට කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පතිවරයා පාසලෙන් නෙරපීමට යම් කණ්ඩායමක් උත්සාහ කළ බවත් ඔවුහු එම විදුහල්පතිවරයාගේ සහායට සිටි විශාලම ශක්තිය වූ මෙම විත්තිකරු මුලින්ම පාසලෙන් ඉවත් කිරීම අරමුණු කර කළ කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙම නඩුව ගෙතීමට කටයුතු කර ඇති බව ය .

විත්තියේ මෙම ස්ථාවරයට අභියෝග කිරීමට පැමිණිල්ල කිසිම කරුණක් ඉදිරිපත් කර  නොමැති බවට තීන්දුවේ සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඒ සිද්ධිය වන වකවානුවේ කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ කටයුතු කර ඇති තුවාලකර සිසුවාගේ පියාාගේ මැදිහත්වීම මත මෙවැනි සිද්ධියක් නිර්මාණය කොට ඇති බවට විත්තිකාර විදුහල්පතිවරයාගේ ස්ථාවරය බිඳලීමට පැමිණිල්ල ක්‍රියා කොට නොමැති හෙයින් එම කරුණු ප්‍රතික්ෂේප කිරීමට අධිකරණයට හැකියාවක් නැති බවද විනිසුරුවරිය වැඩිදුරටත් තීන්දුවේ සඳහන් කළාය .විත්තියේ එම ස්ථාවරය බිඳහෙලා ශක්තිමත් නඩුවක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල කටයුතු කළ යුතු වුවත් තුවාලකරු ඔහුගේ සහෝදරයා සහ පියා හැර වෙනත් කිසිවකු මෙම නඩුවේ සාක්කිකරුවකු වශයෙන් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල කටයුතු කොට නොමැති බවත් තීන්දුවේ  සඳහන් කළ විනිසුරුවරිය පොලිසියේ ඉතාම දුර්වල විමර්ශනය හේතුවෙන් පැමිණිලිකරුට මෙන්ම විත්තිකරුටද බලවත් අගතියක් සිදු වී ඇති බවද සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම තත්වය යටතේ විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළාය