ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ මෙහෙයුමක


(නිමල කොඩිතුවක්කු)

රට පත්ව ඇති අර්බුද වලින් ගොඩ ගැනීම වෙනුවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පිඹුරුපත් සකස් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා කොළඹ දී අද (1) පැවසීය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමඟ එක්වන බවට මාධ්‍ය සමඟ එක්ව ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩුව සමඟ සමඟ එක්වන බවට තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගේ  නම් ප්‍රචාරය කරමින් තිබෙන බවත් එවැනි මාධ්‍ය වාර්තා පිළිබඳව තමන් කනගාටුවන බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් බිලීබා ගැනීමෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි නොවන බවත් ඒ සඳහා ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයන් සමග එකගතාවයකින් යුතුව කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.