ආණ්ඩුව දැන් අලුත් නාට්‍ය පෙන්වනවා


(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින සිදුවූ ඛේදවාචකය ආණ්ඩුව විසින් නැවතත් තම දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් නිර්මාණය කර පෙන්වූ නාට්‍ය දැන් ආණ්ඩුවටම පාරාවළල්ලක් වී ඇති නිසා ඒවා වසාගැනීමට අලුත් නාට්‍ය පෙන්වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් කතෝලික පියතුමන්ලා සමඟ එක්ව කුමන්ත්‍රණයක් කරන බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පසුගිය දා ප්‍රචාරය වූ වීඩියෝ පටය ද එවැන්නක් බව කී චම්පික රණවක මහතා එය කතෝලික පියතුමන්ලා සමග ප්‍රසිද්ධියේ කළ සාකච්ඡාවක් බවත් එහි කිසිම කුමන්ත්‍රණයක් නැති බවත් කීවේය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

ආර්ථික මෙන්ම අන්තර්ජාතික වශයෙන් කඩාවටී අප්‍රසාදයට පත්ව සිටින වත්මන් ආණ්ඩුව නැවතත් බාල වර්ගයේ නාට්‍යයක් රඟ දක්වා එම අප්‍රසාදය, පිළිකුල වෙනත් තැනක ස්ථානගත කරන්නට උත්සාහ කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

තෝරාගත් කතෝලික තරුණ ක්‍රියාකාරීන් සහ පූජකතුමන්ලා ඉලක්ක කරගත් මර්දනයක් ක්‍රියාත්මක වන බව කී පාඨලී චම්පික රණවක මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ෂන කළ ජනාධිපති  කොමිසම් වාර්තාවේ ඉතිරි වෙළුම් 22 වහාම ප්‍රකාශයට පත් කරන්න යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද කීවේය.