ආණ්ඩුව ඉවත් විය යුතුයි


(යොහාන් භාසුර)

ආණ්ඩුව හැම දෙයකින්ම ඉවත්වී නව ආණ්ඩුවක් පිහිටුවීමට ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු බවත් භාරකාර ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත්  ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී අමරපුර වජිරවංශ මහා නිකායේ වැඩබලන මහානායක මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ අද (5) පැවසූහ.

කරුණාකර ආණ්ඩුව ගෞරවය රැකගෙන මේ හැම කෙනාම ඉවත් වෙලා නව භාරකාර ජයක් නොව අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවට අනුකූලව පත්කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ද මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ කීහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය  ඒකාබද්ධව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාවේදී අද (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසූහ.

මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ වැඩි දුරටත් මෙසේ පැවසූහ.  

“ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රකෝපකාරී නොවී විරෝධය සාමකාමීව ප්‍රකාශ කරන ලෙසත් වංචනිකව ධනය නැවතත් ලංකාවට ලබැගැනීමට ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත්.
මහජනතාවගේ සටන සාර්ථක වේවා කියලා සංඝ සභාව ලෙස ප්‍රාර්ථනා කරනවා”  

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ආචාර්ය වලේබඩ ගුණසිරි අනුනාහිමියෝ එහිදී මෙසේ පැවසූහ.

“මේ කෙටි කාලය තුළ රජය හැම ආකාරයෙන්ම අසාර්ථක වෙලා තියෙනවා. රාජ්‍ය පරිපානය, මුදල් පරිපාලනය, ආර්ථික කළමනාරකණය, මහජනතාවගේ දෛනික ඕනෑ එපාකම් ඉෂ්ඨ කිරීම ආදි අංශයකින්ම රජය අසාර්ථක වෙලා තියෙනවා. මේ තත්වයට නිසිලෙස විසඳුම් නොදුණහොත් මහා විශාල ලේ වැගිරීමක් ඇතිවී ජීවිත හානිවෙලා, දේපළ හානිවෙලා මහා අනතුරක් වන ලකුණු මේ වන විට පහළ වෙලා තියෙනවා. නමුත් අපිට පේන්නේ නෑ රජය ඒක තේරුම් අරගෙන තියෙනවා කියලා. මේක අන්තවාදී වැඩක් කියලා කියනවා. සමහරු දේශපාල කුමන්ත්‍රණයක් කියලා කියනවා. ඒක ඇත්ත නෙමෙයි. ඒ නිසා රජය යථාර්ථය තේරුම් ගන්න ඕන”

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී මාදම්පාගම අස්සජී අනුනාහිමියෝ පැවසූහ.

“මේ ජනතා විරෝධය සාධාරණ විරෝධයක්. පෝලිම් තියෙනවා. කන්න බොන්න නෑ. ඩීසල් නෑ. ඉන්ධන නෑ. නමුත් අපේ පාලකයින් කිසිදෙයක් තමන්ගේ සුඛ විහරණය අඩු කළේ නෑ. සැප වාහනවල ආරක්‍ෂක නිලධාරීන් යොදාගෙන ගමන් බිමන් අඩු කළේ නෑ. උත්සවවලට කරන වියදම් අඩු කළේ නෑ. ඒවා ජනතාව හොඳින් බලාගෙන ඉදලා තමයි අවසාන වශයෙන් පාරට බැහැලා විරෝධය පළ කළේ”

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියෝ එහිදී මෙසේ අදහස් දැක්වූහ.

“මේ රජය විසින් රැතවූ වසර දෙකහමාර තුළ අන්තයටම මේ රට විනාශ කරලා තියෙනවා. නීතියේ ආධිපත්‍ය බිඳ වට්ටලා තියෙනවා. ජාතික සම්පත් විකුණලා තියෙනවා. මූල්‍ය අවභාවිතා කරලා තියෙනවා. සියල්ල ජනතාව දන්නවා. ඒ නිසායි ජනතාව පාරට බැහැලා ඉන්නේ. ආණ්ඩුව මේ වෙලාවේ ජනතා විරෝධය අවතක්සේරු නොකර ඒක කරට අරගෙන ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන”