(සුජිත් හේවාජුලිගේ)
ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව)විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිමය බලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නැතැයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එම කමිටුවට පසුගියදා දැනුම් දුන්නේය. කමිටුව ඉහත උපදෙස් ලබාදුන්නේ ඒ අනුවය.
යමෙකුට මහාචාර්ය තනතුරක් භාවිත කළ හැක්කේ විශ්වවිද්‍යාලයකින් ලබාදී ඇත්නම් පමණක් බව සඳහන් කළ අමරතුංග මහතා මහාචාර්ය යනුවෙන් හැඳින්වෙන්නේ තනතුරක් බැවින් එම තනතුර දැරූ අය විශ්‍රාම ගිය පසු ඒ නාමය භාවිත කළ නොහැකි බවද සඳහන් කළේය.
සම්මානිත මහාචාර්ය පදවි ලබා දිය හැකි පුද්ගලයන් කවුදැයි සඳහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද ඔහු පැවසුවේය.
මාස දෙකක් මහාචාර්ය පදවිය දරා විශ්‍රාම ගිය පසු මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
යම්කිසි පුද්ගලයකු ජාතික වශයෙන් ඉටු කළ සේවය සලකා සම්මානිත මහාචාර්ය පදවි පිරිනමන බව පැවසු අමරතුංග මහතා කොමිසම නිකුත් කළ චක්‍රලේඛය අනුව මෙවැනි තනතුරක් භාවිත කළ හැක්කේ විශ්වවිද්‍යාල සනාතන සභාව අනුමත කර පාලක සභාව එය පිළිගැනීමෙන් පසුව බවද සඳහන් කළේය.
එසේ පිළිගැනීමෙන් පසු සම්මානිත මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිය හැකි යැයි සඳහන් කරමින් ඔහුට හෝ ඇයට ලිපියක් නිකුත් කෙරෙන බවත් මේ ආකාරයට සම්මානිත මහාචාර්ය තනතුරු ලැබෙන්නේ අතලොස්සකට පමණක් බවත් සම්පත් අමරතුංග මහතා පැවසීය.

